පසු කර යන වගුරු බිම්වල ජලය නිල් පැ‍හයෙන් බබළයි. පිනි වැටුණු තණ බිම්, මලින් පිරුණු ගස් පසු වෙවී යයි.. ශ්වේතවර්ණ කොක් රෑනක් දුම්රියට උඩින් පියාඹයි. වේගවත් ගමනේ තෙද නංවමින් වුව හැම දුම්රිය ස්ථානයකම නවත්වමින් අඩු සෙනගක් ඇති දුම්රිය සුන්දරව ගමන් කරයි. මේ ඉරිදා උදෑසනකි. දුම්රියේ මිනිසුන් ද සුන්දරය. දිග දුම්රිය මැදිරියෙන් වැඩි කොටසක් කෙල්ලන්ගෙන් පිරී ඇත. තදබදයක් නැත. සිනහව ගලා යයි.. විසිරි විසිරී කැලතෙන කෙලි හඬින් දුම්රියේ හඬ පැරදුණි. ආඩම්බරකාර ගැස්සිල්ලක් ඇතිව දුම්රිය නැවතිණි. කෙල්ලන්ටම සරිලන ජේත්තුකාර කොල්ලෙක් මැදිරියට ගොඩවිය. වෙහෙසකින් තොරවම කෙල්ලන් ආකර්ෂණය කර ගන්නා මුහුණක් හා බැල්මක් ඔහුට තිබිණි. විසිරි විසිරී කැලතෙන කෙල්ලන්ගේ හඬ ද කොල්ලාට පැරදුණි. දුම්රිය කෙල්ලන් හා නැළවුණි. කිති කැවෙන හඬක් නංවමින් දුම්රිය ඉදිරියට ඇදේ. කිසිවක් කතා නොවුණද මැදිරිය පුරා සැණකෙළි සිරි ඉසිලුනි. මැදිරියම ඔහුට නතු විය. මැදිරියේ සිටියවුන්ගෙන් අඩක්ම බැස යා යුතු නගරයෙහි දුම්රිය ස්ථානය ලං වුණි. තරුණයා ද කෙල්ලන් ද සිනහවෙන් ම බසින්නට විය. සිනහව බැස යන ලදි. බැසගත නොහැකිව තරුණයා ඇද වැටුණි. ඔහු දිගින් දිගටම වැටුණි. පඩි දහස් ගණනක් පහළට වැටුණි. වටපිටාව ඔහු ඔසවා තැබුව ද වැටුණි. ඔහු කෙල්ලන් ඉදිරියේ වැටුණි. ඔහු කැඩුණි. අනුකම්පාව දුම්රිය ස්ථානය පුරා පැතිර ගියේ කොළ කොඩි වනමිනි. ඇස් වලින් ඔහු ජීවිතයේ ඇතුළතම අඳුර සොයමින් සිටිනු පෙනිණි. ජවනිකාව අවසන් විය. ඔහු තරුණයෙක් නොව ආබාධිත රණ විරුවෙකි. දිග දුම්රිය සෙමින් ඇදුණි. බිම බලාගෙන ඇදුණි.